Life
ගර්භාශය පහත්වීම ගැන දැනුවත් ද?
ගර්භාශය පහත්වීම බොහෝ විට දරුවන් ලද කාන්තාවන් අතර දක්නට ලැබෙන තත්ත්වයකි. විශේෂයෙන්ම වයසින් වැඩි කාන්තාවන් අතර දක්නට ඇත. ගර්භාශය මෙන්ම යෝනි මාර්ගයේ බිත්තියද පිටතට නෙරා පැමිණීම මෙහිදී සිදු වේ.
සාමාන්‍යයෙන් ගර්භාශය යෝනි කුහරය තුළ පිහිටනුයේ විශේෂ ආධාරක පටක සමූහයක් මගින් අල්ලාගෙනය. ගර්භාශය නිසි පිහිටීමේ තබා ගැනීමට මෙම ආධාරක පටක උදව් වේ. සාමාන්‍යය මට්ටමේ දී ගර්භාශය, මූත්රාශයටත්, ආහාර මාර්ගයේ අවසාන කොටස වන ගුද මාර්ගයටත් අතර මැදිව පිහිටයි.
ඉහත ආධාරක පටලවල දුර්වල වීම නිසා ගර්භාශය යෝනි මාර්ගය තුළින් පිටතට නෙරා ඒම සිදුවේ. මෙය නොයෙකුත් ආකාරයෙන් සිදුවන අතර සමහර විට රෝගියා නොදැනුවත්වම ගර්භාශය පහත්වීම නිසා ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ ඇතිවිය හැක.
ගර්භාශය පහත්වීමට හේතු
♦ සාමාන්‍ය දරු ප්‍රසූතියේ දී ගර්භාශයට ආධාරක ලෙස ක්‍රියා කරන පටකවලට හානි සිදුවීම.
මෙහිදී උක්ත පටකවල ඇදීම නිසා ඒවා දුර්වල වීමට ලක්වේ.
♦ තවද දරුවා බිහි කිරීමට තරම් ගර්භාශය සංකෝචනය වීමට පෙර, කලින් තැටමීම නිසාද ඉහත පටකවලට හානි සිදු වේ.
♦ එමෙන්ම ගැබ්ගෙල නිසි ලෙස විවෘත වීමට ප්‍රථම අඬු හා උපකරණ යොදා දරුවා පිටතට ගැනීමට තැත් කිරීමද ඉහත පටක දුර්වල වීමට බලපායි.
♦ මෙලෙසම වැදෑමහ පිට කිරීම සඳහා ගර්භාශයේ පහළට තෙරපුම නිසා ගැබ් ගෙල වටා ඇති පටක දුර්වල වේ.
තවද රෝහලට හෝ ප්‍රසූතිකාගාරයට ඇතුළු වීමට පෙරම ඉක්මනින් සිදුවන දරු ප්රසූතියද (Precipitated Labour) ගර්භාශය වටා ඇති පටක දුර්වල කිරීමට දායක වේ.
♦ තවද දරු ප්‍රසූතියේ දී යෝනි මාර්ගය හා ඒ අවට ප්‍රදේශය කෙතරම් කාලයක්, කොතරම් දුරට ඇදී පවතීද ආදියත් ගර්භාශය වටා ඇති පටක දුර්වල වී ගර්භාශය පහළට නෙරා ඒමට බලපායි.
♦ එමෙන්ම දරු ප්‍රසූතියේ දී කැපුම් සේදීමට පමා වීම හෝ කැපුම් නොයොදා සිටීමත්, එහිදී යෝනි ප්‍රදේශයේ සිදුවන ඉරීම් තුවාල සඳහා මැහුම් යෙදීමත්, ගර්භාශය පහත් වීමට බලපායි.
♦ තවද මන්දපෝෂණයෙන් හා ඇදුම ආදී රෝගවලින් පෙළෙන කාන්තාවන්ද, දරු ප්‍රසූතියෙන් පසු ඉක්මනින් බර වැඩ අරඹන කාන්තාවන්ද, ළඟ ළඟ දරුවන් බිහිකරන කාන්තාවන්ද, ගර්භාශය පහත් වීමේ අවදානමට වැඩිපුර ලක්වේ.
♦ සමහර විට උපතින්ම ඇතිවන ඉහත ආධාරක පටකවල දුර්වලතාවන්ද, ගර්භාශය පහත්වීමට හේතු වේ.
තවත් සමහර කරුණු නිසා ගර්භාශය පහත් වීම වැඩිදියුණු කිරීමට බලපායි. ඒ අතර,
♦ ආර්ථවහරණයෙන් පසු ඇතිවන ගර්භාශිත ආධාරක පටකවල දුර්වල වීම.
♦ කල් පවතින කැස්ස හා මලබද්ධය ආදියේ උදර කුහරය තුළ පීඩනය වැඩිවීම
♦ ගර්භාශයේ ගෙඩි (Fibroid) ආදී තත්ත්වල දී වැඩි ගර්භාශයේ බර වැඩි වීම
♦ දුෂ්පෝෂණය
♦ ගැබ්ගෙලෙහි ඇතිවන ගෙඩි(Polyp) මගින් යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය ඇදීමට ලක් වීම.
ගර්භාශය පහත් වීම ප්‍රධාන ආකාර දෙකකින් දැකිය හැකි වේ
1. යෝනි මාර්ගය පහත් වීම
2. ගර්භාශය පහත් වීම
මෙහිදී යෝනි මාර්ගය පමණක් පහත් වීම දක්නට ලැබෙන අතර ගර්භාශය යෝනි මාර්ගයත් සමග පහත්වීමත් දක්නට ලැබේ. ගර්භාශය පහත්වීමත් සමග යෝනි මාර්ගය විවිධ මට්ටම්වලින් ඇදීමට ලක්වේ.
මෙහිදී යෝනි මාර්ගයේ ඉදිරි බිත්තිය පහත් වීමට ලක් වීමේදී මූත්‍රාශය හෝ මූත්‍රා මාර්ගයත් ඒ සමග පහත් වීම දක්නට ලැබේ. එසේ පහත්වන කොටස් අනුව රෝග ලක්ෂණ ද වෙනස් වේ.
යෝනි මාර්ගයේ පිටුපස බිත්තිය පහත් වීමේදී ගුද මාර්ගයේ පහළ කොටසද ඒ සමග පහත් වීමට ලක්විය හැක. එමෙන්ම පිටුපස යෝනි බිත්තියේ දුර්වලතාව නිසා බඩවැල් ආශ්රිත පටක කොටස් හා සමහර විට බඩවැල පවා පහත් වීමට ලක් වේ.
රෝග ලක්ෂණ
ගර්භාශය පහත් වීම කොපමණ මට්ටමකට, කොපමණ අවට ඉන්ද්‍රියවලට බලපා ඇත්ද යන්න මත රෝග ලක්ෂණ තීරණය වේ.
♦ ගමන් කිරීමේ දී යම් දෙයක් යෝනි මාර්ගයෙන් පිටතට පැමිණෙන බව දැනීම හා අපහසුතාවක් දැනීම
♦ තුනටිය හෝ යටි බඩේ ඇතිවන අදින්නාක් වැනි කැක්කුම.
ඉහත රෝග ලක්ෂණ දෙකම හාන්සි වී සිටීමේ දී අඩු වී යයි.
♦ මූත්‍රා පිට කිරීමේ අපහසුව
♦ නිසි ලෙස මූත්‍රාශය හිස් නොවීම නිසා නිතර මූත පිට කිරීමේ අවශ්‍යතාව දැනීම
මෙසේ මූත්‍රාශය තුළ මූත්‍රා රැඳී තිබිමෙන් ඒවා ආසාදනයට ලක්වන අතර මෙවිට නිතර මූත්‍රා පිට කිරීමත්, අවශ්‍යතාව දැනුණ විගස මූත්‍ර පිට කිරීමට සිදු වීමක් ඇති වේ.
♦ මූත්‍රා ආසාදනය වීම නිසා මූත්‍රා පිට කිරීම වේදනාකාරී වේ.
♦ කැස්ස, කිවිසුම් යාම, සිනහසීම ආදිය නිසා මූත්‍රා ඉබේ පිටවේ
♦ මූත්‍රා අඩස්සිය ඉතා කලාතුරකින් ඇති වේ
♦ මළපහ පිට කිරීමේ අපහසුව
ගුද මාර්ගයේ පහළ කොටස තෙරපීමට ලක්වීම නිසා මෙය ඇති වේ.
♦ එමෙන්ම යෝනි මාර්ගයේ ඇතුළත ආස්තරය වාතයට නිරාවරණය වීම නිසා එය වියළි හා ඝනකම් වීමෙන් කෙරටිනීභවනය වේ. මෙවිට එම ආස්තරය තද පැහැ ගනී.
තවද ගර්භාශය එළියට පැමිණීම නිසා එහි තුවාල ඇති වීමද සිදු වේ. මෙය ඇතිවනුයේ එහි පිටත ආස්තරය බිත්තියේ කෙරටිනීභවනය වී පුපුරා යාමෙන් ආසාදනයට ලක් වීමත්, හම ගැලවීමත් නිසාය. තවද අවශ්‍ය තරම් රුධිර සැපයුම නොමැති වීමද තුවාල ඇති වීමට බලපායි.
සමහර විට මෙම තත්ත්වය පිළිකාවක් දක්වාද දරුණු විය හැක.
රෝගය වළක්වා ගැනීම
රෝගය ඇති වීමට ප්‍රථම එය වළක්වා ගැනීම සඳහා පියවර ගැනීම වැදගත් වේ.
♦ දරු ප්‍රසූතියේ දී කලින්තැටමීම වැළැක්වීම, කලින් අඬු ආදිය යොදා දරුවා බිහි කිරීම වැළැක්වීම.
♦ දරු ප්‍රසූතිය හා වැදෑමහ පිට කිරීම ආදිය නිසි අධීක්ෂණය යටතේ සිදු කිරීම.
♦ නිසි ලෙස කැපුම් ආදිය යොදා දරුවා බිහි කිරීම
♦ දරු ප්‍රසූතියෙන් පසුව මාස 6 ක්වත් යනතුරු බර වැඩවලින් වැළකීම
♦ නිසි උපත් පාලන ක්‍රම මගින් ළඟ ළඟ දරුවන් බිහි කිරීම හා වැඩි දරුවන් ප්‍රමාණයක් බිහි කිරීම වළකා ගැනීම
♦ ගර්භාශය හා ආශ්රිත පටක සඳහා ව්‍යායාම ක්‍රම අනුගමනය (Pelvic Floor Exercise)
ප්‍රතිකාර
ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමය වනුයේ ශල්‍යකර්මයක් මගින් ගර්භාශය නිසි ලෙස ස්ථානගත කිරීමයි.
♦ Pessary හෙවත් ගර්භාශය ඔසවා තබන වළලු දැමීමද තාවකාලික ක්‍රමයක් ලෙස භාවිත වේ.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks